පීනස නිට්ටාවටම සුවකරන විශ්මිත බෙහෙත් වට්ටෝරු

නිතර නිතර උදේට කිවිසුම යනකොට ඔන්න පීනස කියල කීවාට දේශීය වෙදකමේ පීනස් කීපයක් ගැනම කතා කරනු ලබනවා. ඒ අතුරෙන් දිය පීනස, ගල් පීනස, ලේ පීනස, ගඳ පීනස, ලය පීනස බහුලවම කතා බහ කෙරෙන අතර කෝල පීනස, අර්බුධ පීනස, ජ්වර පීනස, ක්‍රිමිපීනස කියල පීනස් ප්‍රභේද 18ක් ගැන දේශීය වෙදකමේ කතා කරනවා..

කොහොමද මේක හැදෙන්නේ? පීනස පරම්පරාවෙන් හැදෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ආත්තලාට මුත්තලාට සමේ රෝග ඉතිහාසයක් තිබෙන පවුල් වල දරුවන්ට, ඒ වගේම හෙම්බිරිස්සාවක් හැදුනාම හරියට බේතක් හේතක් නොගැනීම නිසා සවස් කාලයේ නෑම නිසා, නිදි වැරීම නිසා, දහවල් නිදා ගැනීම නිසා, අව්වේ ගමන් කිරීමෙන්, නෑමෙන් පසුව හිස කෙස් හොදින් වේලා නොගැනීම නිසා මෙන්ම විවිද දෑ සඳහා වන ආසාත්මිකතාවන් නිසාත් පීනස් හැදෙන්න පුළුවන්. අහිතකර ආහාර පානත් මේකට සෘජුවම බලපානවා. ශීතකල ආහාර පාන නිතර ගැනීම වගේම අධික උෂ්ණාධික ආහර පානත් නිතර ගැනීමෙන් පීනස් ලක්ෂණ ඇති වෙන්න පුළුවනි. හිසේ ආලේප කරන විවිධ දෑ නිසාත් පීනස් ඇතිවෙන්න පුළුවන් වගේම වර්ථමානයේදී කුඩා දරුවන්ට පීනස සෑදීම හා කිරිපිටි සමඟ සෘජු බලපෑමක් තිබෙනවා කියලයි මගේ අදහස. අර්ශස් කඩුවේගන් වගේ රෝග වලදීත් මේ තත්වය දක්නට ලැබෙනවා.

ගල්පීනස කීවේ? සෙම තදවී හිරවී වියළි ගතියෙන් යුතුව තදින් හිස කැක්කුම තිබේ නම් අපි ගල් පීනස කියනවා. මේකට කොත්තමල්ලි, දෙහිකොළ, බෙලි කොළ, පාවට්ටා කොළ, යකිනාරන් කොළ තම්බලා වාෂ්ප අල්ලන්න පුළුවන්. එතැනින් එහාට නම් අපේ වෙද මහත්තයා හමු වෙලා නස්නයක් කාරිය කරගෙන කෂායක් බීවාම සනීප කර ගන්න පුළුවන්. ඔය ඉරුවාරදේ කීව ලෙඩේත් ඔහොමම සනීප කරන්න පුළුවන් බෙහෙත් ඕනෑ තරම් දේශීය වෙදකමේ තියෙනවා. ගඳ පීනස – පීනස් රෝග ලක්ෂණත් එක්කම නාසයෙන් දුගඳ හමන බවක් පැවතීම. විශේෂයෙන්ම ප්‍රාශ්වාස කරන විට තමන්ටම අප්‍රසන්න දුඟදක් දැනෙන බව මෙවැනි රෝගීන් පවසනවා. දන්ත රෝග නිසාත් මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්.

දේශීය වෙදකමේ කියන්නේ මෙහෙමයි – මුවකන් රළුව නියගද කපමින් තිනොරා දිවද පැලෙයි නාසෙන් සොටු දිය වගුරා දවස් පතා හැම කල් සොටු දිය වගුරා නොව වෙන බසක් කිය පීනස් නම තෝරා..

අර්ශසුයි පීනසුයි සම්භන්ධද? බොහෝ විට අර්ශස් රෝගීන් සියල්ලක්ම පාහේ පීනස් රෝග ලක්ෂණ වලින් යුතු වෙනවා. සමේ රෝග පීනස් එක්ක සම්භන්ධතාවයක් දක්නට ලැබෙනවා. පීනස් රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙන්න නම් රෝගීන් මේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕන.

කොහොමද වළකින්නේ? පළමුවෙන්ම හේතු කාරකයන්ගෙන් වැළකී සිටින්න ඕන, පීනස් රෝගීන් බොහෝමයකටම හේතුව වෙන නිදි වැරීම, ප්‍රතිශ්‍යාව නොසලකා හැරීම, දූවිලි දුම් වැදීම , ශීතල ආහාර පාන ආදියෙන් වැළකී සිටින්න වේවි. ඒ වගේම හවසට නාන එක, අසාත්මිකතාවයන් ඇතිවෙන ආහාර ගන්නා එක, රාත්‍රියට විදුළි පංකා භාවිතය අත් හරින්න ඕන. පොඩි දරුවන්ට නම් කිරිපිටි නොදී හිටියාම පීනස බොහෝ අයට සුව වීම දක්නට ලැබුනා. දරුවන්ට එළකිරි දෙද්දි සෙම ඇවිස්සෙනවා නම් එළකිරි පැහැවනකොටම අමු ඉඟුරු කෑල්ලක් දා ගත්තාම සෙම ඇවිස්සෙන්නේ නැහැ. ඒ වගේම එළු කිරි දෙන්න හැකිනම් පීනස් රෝගීන්ට බොහෝම හොදයි. විශේෂයෙන්ම ලය පීනස් රෝගීනට. පීනස් රෝගීන් දිය නෑම සඳහා උදෑසන 9 ත් 11 ත් අතර වෙලාව ඉතාම සුදුසු වන අතර සවස 3න් පසුව නම් දිය් නෑම නොකලයුතුයි. කාන්තාවන් විශේෂයෙන්ම හවස් වරුවට දිය නෑම නොකල යුතුයි. උදෑසනට හිස සෝදා පසුව ඇඟ සේදීම කල හැකි නම් හොඳයි.

පීනසට තැවිල්ලක් හදා ගනිමුද? මේකට නිකදළු, පාවට්ටා දළු, එඩරු දළු, ගම්මිරිස් දළු, මිට මිට අරන් අමු කහ ඉඟුරු ටිකක් දාලා හොඳින් අඹරා ගන්න.පොට්ටනි බැදල වණ්ඩුවේ තම්බලා හොදින් නළ දෙපැත්ත හිස වටා හොඳින් තවල පසුව හොඳ පීනස් තෙලක් හිසට දාන්න. දින කිහිපයක් මේක කරල වෙද මහත්තයට කියල නස්නයක් කර ගත්තාම හරි.

පීනස් නිසා අකලට කෙස් සුදුවෙනවාද? ඇත්තටම ඔව් පීනස් නිසා අකලට කෙස් සුදු වීම වගේම කෙස් හැලීම, හිසරදය, ඇස් කැසීම දැවිල්ල බහුලවම ඇති වෙන්න පුළුවන්.

පීනස් රෝගීන් උදෙසා කැද වර්ගයක් විදියට එළබටු කොළ කැඳ ඉතාම ගුණදායකයි. ඒ වගේම ඉඟුරු කොළ කැඳ, මුගුණුවැන්න කොළ කැඳ, බොහෝම ගුණදායකයි. පීනස් රෝගීන් අත්බෙහෙතක් විදියට පාවට්ටා පංචාංගය හොදින් කපා වේලා කුඩු කර රාත්‍රී නින්දට පෙර කෝපි මෙන් වත්කර බීම ඉතාම ගුණදායකයි. ඒ වගේම හොඳ පීනස් තෙලක් නිතර හිසට දාන්න. අපේ මුතුන් මිත්තො තෙල් ගාන එක පුරුද්දක් විදියට කල නිසයි ඔවුනට මේ වගේ අසනීප නැත්තේ. පීනස කියල ලත වෙවී ඉන්නෙ නැතිව ලඟ පාත ඉන්න වෙද මහත්තය හමු වෙල ඕක සම්පූර්ණයෙන්ම සුව කර ගන්න. දිගු කාලයක් අත් බෙහෙත් කර කර ඉන්න එකත් හොඳ නැහැ. පීනස් තෙල් හැදුවාම ගොඩක් දෙනෙක් ඒ ගැන විමසීම් කල නිසයි මේ ටික ලියන්න හිතුනේ. අඩුපාඩු ඇති තැන් පෙන්වා දෙන ගමන් ඔබේ අදහසුත් ලියන්න.ඒක බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස වේවි. තෙරුවන් සරණයි

සෙනරත් නිරෝෂන්
(උපුටා ගැනීම සිංහල වෙදකම සමූහයෙනි)