දියවැඩියාව පාලනය කරන මතකය වඩවන මකර පළතුර ඩ්‍රැගන් ෆෘට්

විසි එක්වන සියවසේ පලතුර ලෙස හැඳින්වෙන ඩ්‍රැගන් ෆෘට් ඊට ගැලපෙන පරිදි බෝවන රෝග පළවා හරින, ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ද , බෝ නොවන රෝග වළකාලීමේ ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් ද , සපිරි පලතුරක්. ඇමෙරිකානු සම්භවයක් සහිත ශාකයකි. කැක්ටේසියේ කුලයට අයත්වන්නක්. පිතායා පිතහායා ස්ට්‍රොබෙරි පෙයාර්ස් ආදි නම්වලින් හැඳින්වෙනවා. දිගටි පත්‍ර සහිත බහු වාර්ෂික ශාකය, කඩුපුල් මලට සමාන ක්‍රීම් සුදු පාටැති, මලින් යුක්තයි. රාත්‍රියට පිපෙන එය කෘමීන් ආකර්ෂණය කරගන්නක්. එහි සුන්දරත්වය නිසා Queen of night, moon flower ආදි නම්වලින් හඳුන්වනු ලබනවා.

ඩ්‍රැගන් පලතුරෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රතු පොත්ත හා සුදු මදය සහිත ප්‍රභේදය යි. ඒ හැරුණු විට කහ පැහැති පොත්ත හා සුදු පැහැති මදය සහිත ප්‍රභේද‍යකුත් පොත්ත මදය දෙකම රතු පාටැති ප්‍රභේදයකුත් දක්නට ලැබෙනවා. ගෙඩියේ මදය කළු පැහැති කුඩා ඇටවලින් යුක්තයි.
මදය තනිවත් කිරි යෝගට් ආදිය,මිශ්‍රකරත් ආහාරයට ගන්නා අතර පලතුරු බීම ජෑම් වයින් අයිස් ක්‍රීම් ආදි විවිධ නිෂ්පාදන සඳහාත් යොදා ගන්නවා. මල් පොහොට්ටුවලින් හා ගෙඩියේ ලෙලි වලින්, වෑංජන පිසිනවා. ලෙලිවලින් තේ පානයක් ද සකසා ගන්නවා. මද මෙන්ම ලෙලි ද සමට හිතකර වන අතර සම වියපත්වීම කල් දමන රූපලාවණ්‍ය නිෂ්පාදන ලෙස සකසා භාවිතා කෙරෙනවා.

විටමින් A C E B123 ප්‍රභේදත්, යකඩ කැල්සියම් ,මැග්නීසියම් පොස්පරස් ප්‍රෝටීන් පෙක්ටීන් තන්තු හා ඔමේගා 3, 6, 9, පොලිපිනෝල් කැරටනොයිඩ ආදි සිරුරට හිතකර සංඝටකත් සහිත ඩ්‍රැගන් ෆෘට් ශාරීරික මානසික රෝග තත්ත්ව පාලනයකිරීමට උපකාරීවන්නක්. එය දැවිල්ල දුරුකරන සිසිල ගුණයෙන් යුක්තයි.

2010 දී වෛද්‍ය කංඩායමක් මගින් එහි හර්ද රෝග පාලනයට ඇති හැකියාව සොයා ගැනුණා. මද මාංසලයේ අඩංගු කුඩා කළු ඇටවල ඇති ඔමේගා 3, 6, 9, මේද අම්ල අහිතකර LDL කොලෙස්ටරෝල් වලට මෙන්ම ඩිමෙන්ෂියා ඇල්ෂයමර් වැනි මොළය මතකය ආශ්‍රිත රෝග තත්ත්වයන්ට එරෙහිවද ක්‍රියා කරන්නක්. එසේම එය සම නිරෝගිකිරීමටද උපකාරිවනවා. කුරුළෑ තුවාල හා චර්ම රෝග ඉක්මනින් සුවපත් කර සම පැහැපත්කර දෙනවා. ඊට සහායවන A විටමිනය ඇස් නිරෝගි කිරීමට උපකාරිවනවා. ඇසේ දෘෂ්ටි විතානය ආරක්ෂාකිරීමටත් ඇස්වල ලප ඇතිවීම වැළැක්වීමටත් , දායකවන පළතුර රාත්‍රි අන්ධතාව ඇති අයට හිතකර යි. හිස් සොරි දුරුකර හිස කෙස් දීප්තිමත් කරන ගුණ සහිතයි.

ඩ්‍රැගන් පලතුර කැලරි කාබොහයිඩ්‍රේට් හා සීනි අඩුමාවෙන් යුක්තවන අතර රුධිරගත සීනි හා දියවැඩියාව පාලනය කර දෙනවා. තරබාරුව දුරු කරනවා. එහි තන්තු මලබද්ධය වළක්වනවා. 2011 දී ආසියානු පැසිපික් සඟරාව කළ අධ්‍යයනයකින් එහි ඇති පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමේ හැකියාව සොයා ගැනුණා. කැල්සියම් මැග්නීසියම් සහිත පලතුර අස්ථි හා දත් ශක්තිමත් කරන්නක්. ආතරයිටිස් වැනි සන්ධි රෝග හා අස්ථි දුර්වලවීම් පාලනය කරන්නක්. එය වියපත් වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැළඳීම් අවම කර දෙන්නක්. B විටමින් සහිත ඩ්‍රැගන් පලතුර ස්නායු ශක්තිමත් කරනවා. නීරක්තිය දුරුකරනවා.. එය ගැබිණි මවුවරුන්ටද හිතකරව ක්‍රියාකරනවා. ඩ්‍රැගන් පලතුරෙහි ඇති රුධිර පට්ටිකා වර්ධන හැකියාව නිසා එය ඩෙංගු වැනි රුධිර පට්ටිකා, වේගයෙන් අඩුවන රෝගීන්ටද හිතකර බව සඳහන්.

ගෙඩියේ මදය යෝගට් සමග මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි 20ක් පමණ තියෙන්නට හැර මඳ උණුසුම් දියෙන් සෝදා හැරීමේ සත්කාරය සතියට වරක් දෙකක් බැගින් කරගෙන යාමෙන් සම නිරෝගී පැහැපත් කර ගත හැකියි. ඩ්‍රැගන් පලතුරෙහි ලෙලී සිහින්ව කපා දින දෙක තුනක් හිරු එළියේ වියළා තේ ලෙස සකසා පානය කිරීමෙන් පිළිකා දියවැඩියා තරබාරුව පාලනයටත් ඇස් නිරෝගි කරගැන්මටත්, මනස ප්‍රබෝධයෙන් තබාගැන්මටත් එය උපකාරි කරගත හැකියි.

(Indra kumari Rathnayake)